Wednesday, September 23, 2015

02. ටික්කා


ඒයි ටික්කා...
මොකද?...
යමුද රබර් ඇට අහුලන්ට
මට බෑ ඊයේ උඹ වලි දාලා උඹලෑ අම්මා අපේ මහප්පාට කේලම් කියලා මට ගැස්සෙවුවා
ටික්කාගේ අත නොදැනීම කනට ගියේ අත ගැටෙත්ම  පෙරදා දැනුණු වේදනාව නැවතත් මුහුණ පුරා යවමිනි. ඊයේ විජිත සමග අඹ කඩන්නට ගොස් දා ගත්  රණ්ඩුව අවසන් වූයේ විජිතගේ මව ලොකු අප්පච්චීට කේලම් කීමෙන් තමා හොඳටම ගුටි කෑමෙන්ය. ලොකු අම්මා නොහිටින්නට ඊයේ නම් කණ හිල්වෙන්නට තිබුණි. ලොකු අප්පච්චී ගල් කැටයක් තබා කන් පෙත්ත සිර කරන විට ටික්කා මොර දුන්නේ මැරුණ අම්මා වළෙන් ගෙන්නන්නට මෙනි. මේ කලබැගෑනියට කොහේදෝ සිට දුව ආ ලොකු අම්මා,
මේකව මරාගෙන කන්නට හදනවාදැයි.. දැයි කියමින් ටික්කා අතින් ඇදගෙන ගෙට නොයන්නට ටික්කාට කන්පෙත්ත නම් ඉතුරු  නොවන්නට තිබුණි.
ටික්කෝ මොකෝ කියන්නේ යමුද..... විජිතගේ හඬ නොයිවසිලිමත්ය.
උඹ එක්ක මක්කවත් කොළහැකැ පොඩ්ඩ බැරි වුණ ගමන් ගෑනි වගේ අඬනව නෙව.... ටික්කාද කීවේ මදක් නොරිස්සුම් සහගතවය.
නෑ සත්තකයි මං ආයි අම්මට කියන්නෑ... විජිත කිව්වේ දකුණු අතේ අල්ල ටික්කාට පාමිනි.
උඹ අඬන්නේ නැද්ද.... ටික්කා යළිත් විජිත දෙස බැලුවේ සැකයෙනි.
නෑ බං ටික්කො එහෙනම් යමුද...
හ්ම් එහෙනම් යමං
ටික්කාද විජිත සමග පාලං ගැට්ට උඩින් නැගිට පාර දිගේ යන්නට විය... පෙනුමට මොවුන් දෙදෙනාම අවුරුදු දහයක් වත් නැති පැටවු දෙදෙනෙකි..
විජියෝ... කොයි පැත්තටද යන්නෙ.. අපේ ගෙවල් පැත්තෙන් උඩහට යමුද...
හ්ම්ම් යමං...
විජිත සමග රබර් යායට ඇදී ගිය ටික්කා නෙත්තියෙන් නෙත්තියට ගහෙන් ගහට පනිමින් රබර් ඇට අහුලන්නට විය. රබර් ඇට වැටෙන කාලයට වත්තේ හැම එකාම කරන්නේ රබර් ඇට අහුලන එකය. රබර් ඇට කිලෝ එකට රුපියල් දෙකක් පමණ ලැබෙනවාය. වත්තෙන් තහනම් කොට තිබුණත් ඔය අතරෙ රහසින්ම ඔට්ටපාලු ගැලවීමත් ජයටම සිදුවිය. හැබැයි ඉතින් මුරකාරයාට මාට්ටු වුණු දවසට නම් මාසෙකම ඇරියස් ගෙවන්නට වෙනවාය.
 විජියෝ... උඩහ නෙත්තියේ සිටි ටික්කා පහළ බලමින් කෑ ගැසීය.
මොකෝ... විජිතද නමාගෙන සිටි කොන්ද දිග හරිමින් රබර් ඇට මල්ලත් රැගෙන කෙලින් විය.
රූං පෙත්තකට පියනක් හම්බ වුණොත් ඇහිද ගනින් හොඳේ.
ඒ මොකටද බං...
අපේ ලොකු අම්මගේ නංගිට රූං පෙත්තක් ඉල්ලුවා බං..
හිහ්..... හිහ්..... හී.... විජිතගේ සිනාහඩ පාළු වත්ත දෙවනත් කරමින් ඇහෙන්නට විය
ඇයි යකෝ බෙරිහන් දෙන්නේ... මද්දහනේ යක්කු ගෙන්නන්නද..   ටික්කාද තරහින් කෑ ගැසීය.
ඈ... බං උඹට තාම රූං පෙත්තෙන් සෙල්ලම් කරන පුංචිලත් ඉන්නවද..
අනේ පලයන් යන්න මෝඩ විජියා... උඹට එකක් හම්බ වුණොත් තියාගනින් කියමින් ටික්කා යළිත් රබර් ඇට අහුලන්නට විය.
ටික්කා ලොකු අම්මාගේ නංගීයි කිවුවේ ලොකු අම්මාගේ පුංචි දියණියටය. පැයක් හමාරක් රබර් ඇට ඇහිදීමෙන් පසු විජියා ගලක් උඩට වී වාඩී වී සිටියේය. පසෙකින් රබර් ඇට පුරවාපු බෑගය විය. කන්දේ අනිත්  පසට ගිය ටික්කා පෙනෙන්නටවත් නොවීය.
ටික්කෝ.....
ඕ... සැණෙකින් හඬත් සමගම ටික්කාගේ විඩාබර මුහුණ කන්ද මුදුනින් මතු විය.
යමුද....
විජිය අහුලල ඉවරද...
ඔවු බං මට මේ ඇති...
හ්ම්ම් එහෙනම් හිටිං මාත් එනකන්... ටික්කා සීරුවෙන් පල්ලම් බැස්සේ රබර් ඇට බෑගය ඉහිරෙතැයි බියෙනි. සෙමෙන් පල්ලම් බැස රබර් ඇට බෑගය ගලට හේත්තු කොට ටික්කාද විජිත් ළඟින්ම ඉඳගත්තේය.
විජියෝ..
මොකෝ...
අද හවස රබර් ඇට කඩේට දෙමුද? ගෙදරත් එකතු කරපුව ගොඩක් තියෙයි බං.
හොඳා යමං... ඒක නෙමේ වැඩක් වැඩක් කරමුද?...  විජිත්ගේ මුහුණට කෛරාටික බවක් එකතු වීය.
මොකක්ද..
ඒයි... අපි ඔට්ටපාලු ටිකකුත් ගලවමුද..
පිස්සුද බං.. මුරකාරයා දැක්කොත් උඹයි මායි දෙන්නම ගෙනියයි. දැන් ඕව කරන්ට බෑ විජියෝ උඹත් ගෙදර ගිහින් රබර් ඇට ටික අරන් වරෙන් බුට්ටා සීයගේ කඩේට.  දැනටමත් හොඳටම හවස් වෙලා කියමින් ගලෙන් පහලට රූටා ආ ටික්කා විජිත්ද සමඟ කැලයෙන් එළියට ආවේය.
ගෙවල් අසලට පැමිණි ටික්කා විජිත්ට කතා කළේය. විජියෝ ඇට ටික අරන් වරෙන් මාත් මෙතනට එන්නම්.
හා එහෙනම් මම යනෝ....විජිත්ද එක පිම්මට රබර් ඇට මල්ලත් රැගෙන දිවීය.
රබර් ඇට රැගෙන ගෙමිදුලට ගිය ටික්කා මල්ල මිදුලෙන් තබා ගේ පිළිකන්න පැත්තෙන්ම දර මඩුව ළඟට ගියේය.  ටික්කා රබර් ඇට තැබුවේ මෙහිය. පොඩි පොඩි මලුවල තිබූ රබර් ඇට සියල්ලම එකම මල්ලකට දමා ගත් ටික්කා එයත් රැගෙන ඉදිරිපස මිදුලට ගි‍යේය. ටික්කාගේ රබර් ඇට සද්දය ඇසී ලොකු අම්මාද මිදුලට ආවාය. දොරකඩට ආ ලොකු අම්මා ටික්කා දෙස බලා සිටියාය. ටික්කා සීරුවට රබර් ඇට එක මල්ලකට හැලුවේය.
ටික්කෝ .... පුතේ උඹ රබර් ඇට අහුලන්ට ගියැයි..
ඔවු ලොක්කම්මේ මම මේ ටික අද කඩේට දීලා එන්නම්.. ලොක්කම්මට මොනවත් ගේන්ට ඕනිද?...
බේබදු තාත්තගෙන් ගලවාගෙන අම්මා මළ දා පටන් ටික්කා හැදුවේ ලොකුඅම්මාය. අගහිඟකම් මිසක් ලොකු අම්මා තමාගේ දරුවෙකුට වගේම ටික්කාට ආදරේ කළාය.
නංගී ආ... ටික්කා රූං පෙත්ත නංගීට දුන්නාය..
තික්කයියා කූං පෙත්තක් ගෙනල්ලා කියමින් පොඩි නංගීද රූං පෙත්ත ඇඟිලි අතර රුවාගෙන කටින් පිඹින්නට විය.
ලොක්කම්මේ මං කඩේට ගිහින් එන්නං...
ටික්කෝ රෑ වෙන්න කලින් වරෙන් පුතේ .... රබර් ඇට මල්ලත් අරං ඇදී යන ටික්කා දෙස බලා සිටි ලොක්කම්මා කීවාය.
......................
උඹ රබර් ඇට මැවුවද යකෝ?....
නෑ බං ටිකක් වෙලා ගියා.... හා යමං කියමින් ටික්කාද විජියා සමග එකට වැටී කඩේ දෙසට ගියේය.
.........................
සීයේ.....පාර කෙළවර කඩේට පැමිණි කොල්ලන් දෙදෙනා කෑ ගසන්නට විය..
මොකද බොලවු බෙරිහන් දෙන්නේ .... කියමින් සීයා ඇතුළු කාමරයක සිට ආවේය. පුවක් ගෙඩියක් තරම් කොණ්ඩයක් බැඳ ඇති මුහුණ පුරා සුදු පාට රැවුලක් වවාගත් බුට්ටා සීයා කණ්ණාඩි කුට්ටම දැම්මාට බලන්නේ ඊට උඩිනි. කොල්ලන් නම් කියන්නේ සීයා නහයේ අමාරුවකට කණ්ණාඩි දමනවා කියාය.
සීයේ රබර් ඇට.... විජිත් එක්වරම මල්ලත් රැගෙන සීයා ළඟට ගියේය. ඇට මලු දෙස කණ්ණානාඩිය උඩින් බැලූ සීයා,
හා.... හා... වරෙවු කොල්ලනේ කියමින් කඩය තුළට ගියේය. රබර් ඇට මලුත් රැගෙන කොල්ලන් දෙදෙනාද සීයා පසුපස ඇදුණේය. රබර් ඇට කිරා බැලූ සීයා ටික්කාට රුපියල් දොළහකුත් විජිත්ට රුපියල් දාහතරකුත් දුන්නේය..
සල්ලි මිට මොලවාගත් ටික්කා දෙස බැලූ විජිත් ඇස් කොනින් ඉඟි මැරීය. ටික්කා වටපිට බැලුවේ මොනවා මිලදී ගන්නදැයි සිතමිනි. ඊයේ ගණන් පොත ඉවර වී පන්තියේදි ගණන් සෑදුවේ සුරංගයාගෙන් කොළ ඩබලක් ඉල්ලා ගෙනය... කොලය කඩද්දි සුරංගයාද කන්කෙදිරි ගෑවේ අම්මාගෙන් ගුටි කන්නට වෙන නිසාය.. කොල්ලන් කොළ කඩනවාට අම්මලා පොත් දෙන්නේ පිටුවල අංක දමාය.... නැතිනම් පොත්වල අන්තිමට ඉතුරු ව‍න්නේ පිට කවර පමණක්ය.
කොටු රූල් පොතකට ගණන් බලා ඉතිරිය බැලූ ටික්කාට පාන් පිටි කිලෝ එකක් අරන් යන්නට සිතා සිටි නමුත් ඉතිරි වූයේ පිටි පන්සීයක් ගැනීමට මුදල් පමණි. පිටි පන්සීයකුත් සීනි කෑම දෙකක් වෙනුවට හුලං විස්කෝතු දෙකකුත් මිලට ගත්තේ පුංචි නංගී කිරි පිටි ඉවර වූ විට තේවල පොගවා කන්නේ හුලං විස්කෝතු නිසාය. විස්කෝතුවද කරදාසියක ඔතා පාන් පිටි මල්ලටම දමා ගත්තේ ගෙදර ගොහින්ම කෑල්ලක් කනවා කියා හිතාගෙනය.
බිං කරුවල වැටීගෙන  එනවිට  කඩයෙන් එළියට පැනගත් කොල්ලන් දෙදෙනා හනි හනික ගෙවල්වලට යන්නට පිටත් වූහ.
විජිත් නම් සීනි කෑම දෙක තුනක්ම රැගෙන තිබුණි..
ටික්කෝ ආ.... පාරට පැමිණි පසු සීනි කෑම එකක් කඩා විජිත් ඉන් කෑල්ලක් ටික්කාට පෑවේය...
ටික්කාද... එය ගෙන කටේ දමාගත්තේ.... බිං කරුවලත් සමඟ පෙනෙන නොපෙනෙන විජිත් දෙස බලමින්ය..
මොනවා කළත් විජිත් ටික්කාගේ මිතුරාය.....

ලිව්වේ - මිත්‍රවර්ණ (සබරෙ ඇනෝ)






Monday, September 21, 2015

01. එකෝමත් එක කතාවක්

ඔන්න ඉතින් එහෙනම් හා හා පුරා කියලා එකෝමත් එක කතාවක් පටන් ගත්තා.  හැබැයි ඉතින් මේකත් අර ලස්සනම ලස්සන කුමාරි බලන්න රාස්සිගේ බෙල්ල කපල අස්ස ගුඩුං ආපු කුමාරයාගේ කතාව නම් නෙවෙයි ඕං.මෙලෝ රහක් නැතුව ලබ් ඩබ් කියල ගැහෙන අපේම හදවත්වල රිද්මය හෙයාගෙන යන, කළු සුදු හිත්වල අළු පාට හොයන ඔයාගෙයි මගෙයි කතාව.
කවිපද හතරක හිරකරන්න බැරි කොයිතරම් හීන කන්දක් අපි හැමදාම පාට කරනවද, උදේ පාන්දර වලාකුළු අතරින් රත්තරන් පාටට කවුළුවක් ඇරියා වගේ ඉර එළිය වැටෙද්දී අපි අතර කී දෙනෙක් නම් ලස්සනම ලස්සන අශ්ව කරත්තයක නැගුණ ලස්සන කුමාරිකාවක් කුමාරයෙක් එතනින් ඒවි කියල තවමත් බලාගෙන ‍ඉන්නවද (එනවටම නෙවෙයි ඉතින්)  අවුරුද්දට කොහා එක්ක අපි කී දෙනෙක් නම් තවමත් තරගෙට කුහූ කියනවද..... හ්ම්ම් .... ඉන්ජෙක් වෙච්ච ඉවාන් අයියට මාතා අයියට කවදාවත් හිතිලම නැද්ද කඳු දෙකේ දෙපැත්තට ගිහින් දේදුන්නේ කොන හොයන්න... අපි හිනා වුණත් ඒත් මේ අපි අපිම නේද? මේ සම්මුති සමාජය ඉරි ගහල කොටු කරපු අපේ ජීවිතවල මොන තරම් නම් හැඩතල තියෙනවද. වෙලාවකට අපි අපිවම හොයනව.
යාළුවනේ එකෝමත් එක පණගහන්නේ ඔයයි මායි ජීවත් වෙන මේ පොළව උඩ ගෙන්දගම් රස්නෙට කරවෙලා ගිය මිනිසුන්ගේ සුවඳ හොයන්න එයාලගේ කළුසුදු හීනවලට පාට කවල නිදහසේ ඉගිල්ලවන්න. එහෙනම් ඉතින් ඔන්න වර්ණ කුලකයේ වර්ණයි, මිත්‍ර වර්ණයි (සබරේ ඇනෝ) බලාගෙන ඉන්නවා  එකෝමත් එක... කතාවක් කියද්දී හූ මිටි තියන්න, ලුණු ඇඹුල් එකතු කරන්න සයිබරයේ යාළුවෝ ටික නැගම් එනකන්...

ප.ලි. තරහ ගන්ට එපෝ අනිත් යාළුවන්ගේ ජොබ් එක හොයාගන්ට බැරි උනෝ...

ලිව්වේ - මිත්‍රවර්ණ (සබරෙ ඇනෝ)