Wednesday, October 7, 2015

චාරිකා




&කියවන්න... උපන්ගෙයිම දරුවා මැරූ මිනීමරු චාරිකා එල්ලුම් ගස් යයිද? නොයයිද?.... අද පත්තරේ චාරිකාගේ නඩු තීන්දුව... නීතිය වල් වදියිද?......*
පත්තර කොල්ලා කොළඹ කොටුව දෙවනත් වන්නට බෙරිහන් දෙයි. උදෑසන පස්ස කඩාගත් දිමියන් මෙන් හැල්මේ දුවන මිනිසුන් මදකට හෝ නතර කළේ පත්තර කොළුවාගේ හඬ විසිනි.  හඬ ඇසෙන මානයේ සියල්ලෝම ගමන්බිමන් නවතා පත්තර කොල්ලා කියන දේ මොහොතක් අසා සිට යළිත් දුවති. ඇතැමෙක් පත්තරය මිලදී ගනියි.  කලකට පසු කොල්ලාට සරුවී ඇත. ඔහු තවත් මහ හඬින් බෙරිහන් දෙයි..
පුවත්පත මිලදී ගත් අයෙක් හනික එය දිගහරී. මුල් පිටුවේ සුදු පසුබිමේ තඩි කළු අකුරින්, %මිනීමරු චාරිකා^ යන්න මුද්‍රණය වී තිබුණි. මාධ්‍ය සදාචාරයන්ට අනුකූලව දමා තිබූ පින්තූරයේ ඇස් දෙක මතින් යන්තමට හීනි කළු ඉරක් ඇඳ තිබුණේ හැටඇඳිරිය පසු කරන්නෙකුට වුවද හඳුනාගත හැකි වන අයුරින් සමාජ සත්කාරයක් ලෙසිනි. මන්ද ඇය මිනීමරුවෙකි. මැද පිටුවේද චාරිකා පිළිබඳ පසුබිම් කථනයන්ය. කතුවැකියද චාරිකාය.
බ්‍රේකින් නිවුස්ද නඩු වාර්තාය. දෙදහස් පන්සියයක  ප්‍රෞඪ ඉතිහාසයක් ඇති  හෙළ ධර්මද්වීය යළි රැකගැනීමට නම් මෙවැනි ක්‍රියාවන්ට විරුද්ධව එල්ලුම්ගහ ගෙන ආ යුතුමය යනුවෙන් භික්ෂුවක් නිවුණු සැනහුණු ස්වරයෙන් නාළිකාවක දේශනා කරයි. ලාංකීය ආගමික සහජීවනත්වයේ තරම ලොවට  විදහා පාමින් සියලු ආගමික නායකයෝ මෙහිදී එකම අරමුණක හුන්හ. 
භාහිරින් කිසිදු තුවාලයක් නොමැති අතර හුස්ම සිරවීමෙන් සිදුවූ මරණයක් බව පවසමින් නිකුත් කළ රස පරීක්ෂක වර්තාවේ නීරස බව අභියෝගයට ලක්කරමින් තවත් නාළිකාවක චාරිකාගේ නඩුවේ තීරණාත්මක සාධකය වූ ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වූ හතලිස් දෙහැවිරිදි කාන්තාව ඇඬූ කඳලින් පැවසුවේ චාරිකා දරුවාගේ ගෙල මිරිකා මරන අයුරු තමා දුටු බවත්, ගෙල මිරිකු දරුවා පොළවේ ගසනු දුටු තමා සිහිසුන්ව වැටුණු බවත්ය. තමාගේ සිවුමස් බිළිඳිය නිවසේ දමා තමා දැන් තෙදිනක් තිස්සේ  මෙලෙසින් උද්ඝෝෂණයට සහභාගි වූයේ හුදෙක්  මියගිය දරුවා වෙනුවෙන් වූ දාරක ස්නේහයෙන්ම බව ඇය පවසා සිටියාය. අවසානයේ ඇය සියලු මවුවරුන් වෙනුවෙන් චාරිකා එල්ලා මැරිය යුතුයැයි මහත් වූ ආදරණීය ස්වරයෙන් ඉල්ලා සිටියාය.

...........................................................

වර්ෂයේ වූ එක්තරා මාසයක එක්තරා දිනයක රටක් දෙදරුම් කැවූ ගැහැනිය, උරිස් ඇට මතින් කඩාහැලෙන අවපැහැ පිරුවටයෙන්ද රෙදි පටියකින්වත් මාංචු දැමිය නොහැකි තරම් අකීකරු වූ කෙහෙවැටියෙන්ද යුක්තව  විත්ති  කූඩුව මත විරාජමානව හුන්නාය. ඇය අවට කළු කෝට්කාරයෝ තර්ක පිට තර්ක ගටති. චාරිකා වෙනුවෙන්ද දරුවන් දෙදෙනෙකු සිටියද දරු කැක්කුමක් නොදත් තාරා බාලසූරිය නම් වදනින්ම අර්ථවත් වූ ගරු නීති වෘත්තීය මුදලට විකුණූ මිනී කාක්කියක් ඉදිරිපත්ව සිටියාය. ඇයට කවුරුන් හෝ කුමක් උදෙසා හෝ මුදල් දුන්නාදැයි රහස් පොලෝසියටවත් සොයාගත නොහැකි වූ නමුත් ඇය තම වෘත්තීය මුදලට විකුණු බව මාතෘ භූමියේ යහජනතාව සක් සුදක් සේ දැන උන්නෝය.

&ස්වාමීනී..... අම්මා කෙනෙක් දරුවෙකු මරන්නේ නම් ඒ අසීරු අවස්ථාවකම විය යුතුයි. මෙතෙක් විත්තිකාරිය කිසිවක් කතා නොකළ නිසා ඇය යමක් පවසන තුරු දඬුවම් දීම ප්‍රමාද කළ යුතු බව මම මේ ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිමි.*
ඒ තාරා බාලසූරියය.
ඒ සමගම චාරිකා හිස ඔසවා බැලුවාය.
%අම්මා කෙනෙක්.......^ මෙතෙක් චාරිකාගේ දෙසවන ගැටුණ එකම වදන එය විය. %අම්මා......^ ඒත් සමගම ඇගේ හද පුරා අමුතුම උණුසුමක් අරක් ගත්තේය. හදවත පුරවා ලමින් දැනුණු ඒ උණුසුම කෙරෙහි ඇය තවතවත් තුරුලු වූවාය. කවදා කොහේදී හෝ විඳ තිබූ මවු සෙනෙහසකට ඇය තුරුලුව උන්නාය ..................... එහෙත් හදිසියේම ඇඟ කිළපොළා යමින් ඇයට සීතලක් දැණුනි... අයිස් මෙන් සීතලම සීතල මුහුණක් ඇගේ දෑතට හසුවිය. ඊළඟ මොහොතේ ඇය උන්නේ අයිස් මෙන් සීතලව ගිය ගැහැනියක් අබියසය.

&අනේ මගේ අම්මා.....* තවත් ගැහැනියක් ඒ අසල විලාප තියයි. චාරිකා ඇය හඳුනාගත්තීය.. ඒ ඇගේ අක්කාය. චාරිකාගේ අම්මා ගෙදර ඇවිත්ය. මාස හයකට පෙර අහස් යන්තරාවක නැගී රට ගිය අම්මා අරුමෝසම් බඩු ගොඩාරියක් රැගෙන යළි එනතෙක් චාරිකා මගබලා සිටි අම්මා ගෙදර ඇවිත්ය. ඒත් ඒ සීතලම සීතල පෙට්ටියකය. ඉන් දෙදිනකට පසු අම්මා යළිත් ගියාය. මෙවර නම් අම්මා යළිත් නොඑන බව චාරිකාට දැනෙමින් තිබුණි. සුපුරුදු තනිකමත් සමගින් චාරිකා පියාත් සහෝදරියත් සමග නිවසේ තනිවූවාය.
&ආ... මේ  බත් එක ගෙනිහින් දියන්...* කියමින් හදිසියේම දිනෙක අක්කා මෙතුවක් තමන් කරමින් උන් රාජකාරිය චාරිකාට පැවරුවාය. අමුත්ත නිසා චාරිකා සිය අක්කා දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයකිනි.
&ගඳට මගේ බඩ දඟලනවා...* අක්කා කීවේ චාරිකාට පිටුපා යළි ලිප දෙසට හැරෙමිනි.
බිත්ති හතරේ හැපෙමින් හවසට ගෙදරට එන තාත්තා ළගින් එන ගඳට නම් චාරිකාටද ඔක්කාරෙට එයි. ඒ නිසා චාරිකා හුස්ම හිරකරගෙනම ගොස් බත්පතදී යළි කුස්සියට අවුදින්ම හුස්ම ගත්තාය. ඇගේ මුහුණේ වූයේ මදහසකි. ඇගේ උපක්‍රමය හරි ගියේය. ඇයට ගඳක් දැනී නොතිබුණි..
අම්මා රට ගියදා පටන් අක්කා පාසල් නොගියාය. එහෙත් චාරිකා නම් පාසල් ගියාය. අකුරු හරඹයට නොවුණත් යහළුවන් සමග සෙල්ලම් කිරීම චාරිකාට මහත් සොම්නසක් විය. කුලගොත් කෙසේ වෙතත් හැමදාම ලියන නම නම්  යන්නතමට ලියාගන්නට ඇයට හැකිවුණි. කොයි තරම් කාලයක් ගියාදැයි නිනවුවක් නොතිබුණත් ඉතිරිව තිබූ නමට සුදුවූ ගවුම් දෙකත් බාටා කෑලි දෙකත් ගෙවී ඉරී යන තෙක්ම චාරිකා පාසල් ගිය බව නම් ඇයට මතකය.
තාත්තා දැන් හීනෙන් ඇවිදින්නට පටන් ගෙනය. දිනක් මහ රෑ හීනෙන් ඇවිදින්නට ගොස් අක්කාගේ ඇඟට පතබෑවුණේ අසල හුන් චාරිකාගේ මර හඬට තාත්තාගේ නින්දත් කඩමිනි. තාත්තාටත් වඩා චාරිකාට කරදරයක් වූයේ අක්කාගේ අසනීප වීමය. ඒකිට මහසොහොන් දිෂ්ටියය. පොඩ්ඩ බැරි වුණු ගමන් චාරිකාගේ කොපුල් පුපුරු ගසන්නට ඇගෙන් වදින්නේය. තාත්තාගේ ලෙඩේ උග්‍ර වනවිට සාලයේ නිදාදැනීම අන්තරායකාරී විය හැකි බැවින් තාත්තා කාමරයේ නිදාගන්නට විය. තාත්තාගේ ආරක්ෂාවට අක්කාටද කාමරයේ නිදාගන්නට සිදු වූ අතර චාරිකා සාලයට විසිවිය. රෑටවත් අක්කාගේ ගුටිබැටවලින් නිදහස් වන්නට ලැබුණු නිසා සාලයේ හිඳීම චාරිකාට මහත් අස්වැසිල්ලක් විය.
හෙමින්ම කාලය ගෙවුණු අතර දිනක් හදිසියේම අසනීප වූ අක්කා රෝහල් ගෙන ගිය  අතර, ඇය යළිත් නිවසට ආයේ පුංචි කුමාරත් සමඟය. එදින රාත්‍රියේ නිවසේ සහ පිටත මහා කලකෝලහාලයක් ඇති වූ බව නම් ඇයට යන්තමට වාගේ මතකය. ඒ කුමක් නිසාදැයි ඇයට නිනවුවක් නැත. කාලය සෙමෙන් ගෙවී ගයේය.  කාලයක් වකවානුවක් මතකයේ නොතිබුණත් කවදාක හෝ දිනක චාරිකාත් යෞවනියක වී උන්නාය. හිරිමල් යෞවනයට උචිත නොවුවත් කිරි මවු තනතුර දරන්නට වයසක් නොවුවත් අම්මා නොමැතිව දිනක් බෑඟිරි ගසන කුමාර තුරුලු කරගත් දා පටන් චාරිකා කුමාරගේ කිරිමවු වූවාය. ඒ කුමාරගේ අම්මාත් ඔහුව අතැර ගිය නිසාවෙනි. තාත්තා ගෙදර කස්තිරම් ඇල්ලූ බව ඇයට මතකය. විටින් විට කියවුණු සෝමයාගේ නම නිසා  සෝමයාත් අක්කාගේ අතුරුදන් වීමට හේතුවක් වන්නට ඇතැයි ඇයට සිතුණි. සෝමයා යනු තාත්තාට හිටි එකම මිතුරාය. හරියට කියනවා නම් ඒ  කසිප්පු සෝමයාය. තාත්තා පදම බලන්නේ ඔහුගේ වාඩියේය. චාරිකාට නම් තාත්තාටත් වඩා ඔහු ගඳය. අක්කාට එය නොදැනුණේ මන්දැයි ඇයට සිතාගත නොහැක. ඉන් ටික දිනකට පසු තාත්තා චාරිකාත් කුඩා කුමාරත් රැගෙන කොහාටදෝ ගියේය. බස් බෝඩ් එකක්වත් කියවන්නට නොහැකි වූ නිසා යන්නේ කොහිදැයි දැන නොසිටි නමුත් යා යුතුම බව දැන උන් නිසා ඈ නිහඬවම ගියාය. කොහේ හෝ පොල්වත්තක පුංචි නිවසක අවසානයේ චාරිකා  නැවතුණි. තාත්තා ඒ වත්ත බලා කියගන්නා බවත්, මින් පසු ඉන්නට සිදුවන්නේ මෙහිම බවත් චාරිකා දැන උන්නාය. තාත්තාට %තාත්තා^ කියන්නට එපා යැයි පැවසූ හෙයින් කියන්ට යමක් සොයාගන්නට නැති වූ හෙයින්ද චාරිකා බොහෝ විට කතා නොකළාය. තාත්තාගේ  නින්දෙන් ඇවිදීම නම් සුව වී නොතිබුණි. නින්දෙන් ඇවිදින්නට ගොස් තාත්තා  තමා මතට වැටෙන විට තාත්තාගේ ඔක්කාරෙට එන ගඳ නොදැනෙන්නට පුංචි කාලේ කළාක් මෙන් චාරිකා හැකි තරම් වෙලා හුස්ම අල්ලන් ඉදින්නීය. බැරිම වනවිට කටින් හුස්ම ගන්නීය. දැන් එය චාරිකාට පුරුදුය.
චාරිකා දුටුවේ ගොළුවකු මෙන් ගලා යන කාලයයි. එහෙත් මේ නිහැඬියාව පැවතියේ චාරිකාත් අසනීප වන තෙක් පමණි. අසනීපය උග්‍ර වූ දිනෙක ඇයද අක්කා මෙන් රෝහලට ගෙන යනු ලැබිණි. රෝහලේදී ඇයගේ අතට ලැබුණු ප්‍රාණියා දෙස ඇය බලා උන්නේ මැය ඇගේ කවුදැයි හඳුනාගන්නට නොහැකිවය. පොඩි එකී හඬන්නට විය. සංසාර පුරුද්දට මෙන් චාරිකා ඇය ළයට තුරුලු කර ගත්තාය. සිඟිති මුව පොඩිය පපුතුරෙහි ගැටෙද්දීම ගත කිළිපොළා ගිය හැඟීමක්  සමගම ඇයට ඔවුන්ගේ බැඳීම දැනෙන්නට විය. පොඩි එකීද ගැහැනියකි.... ඔවු ඇය ගැහැනියකි.... චාරිකා තීරණයක් ගෙන තිබුණාය. පිරිමින් හීනෙන් ඇවිදින තාක් ගැහැනුන් හුස්ම සිරකරගත යුතුය යන්න පොඩි එකීටද කියා දිය යුතුය..  ඇය පුංචිම ගැහැනිය හුරු කරවන්නට සිතුවාය. නහය අල්ලන්නට ලෝබය. ඒ නිසා ඇය පපුවට තුරුලු කර ගත්තාය. තදින්ම තදින්ම තුරුලු කර ගත්තාය. හීන් කෙඳිරියක් වත් නොනඟා බිළිඳිය නිසසල විය. මොහොතකින් අම්මා මෙන් ඇයද ආ පයින්ම නික්ම ගිය බැවු චාරිකාට දැනුණි.
 

චාරිකාගේ නඩු තීන්දුවදී තිබුණි... උපන්ගෙයිදීම සිය දියණියගේ හුස්ම හිරකර මරාදැමීම හේතුවෙන් චාරිකාටට මරණ දඬුවම නියම වූ අතර, එල්ලුම් ගහ සම්මත වී පැය විසි හතරක් ඇතුළත පළමු දඬුවම ලෙස චාරිකා එල්ලා මැරීමටත්, එතෙක් බරපතළ වැඩසහිත සිරදඬුවම් දීමටත් නියම වී තිබුණි. ඇය වෙනුවෙන් කිසිදිනෙක  හරි හමන් නෑකමක් සොයාගත නොහැකි වූ පුංචි කුමාර පමණක් කඳුලු බිඳුවක් හලමින් ප්‍රීතිඝෝෂා නැගූ සෙනග අතරින් යන්තමට නොපෑගී සිටින්නට වෙරදැරීය.

ලිව්වේ - සබරෙ ඇනෝ... (මිත්‍ර වර්ණ)

15 comments:

  1. මම එක..කියවලා එන්නම්

    ReplyDelete
    Replies
    1. //අම්මා කෙනෙක් දරුවෙකු මරන්නේ නම් ඒ අසීරු අවස්ථාවකම විය යුතුයි//
      මං ගොලු උනා..+++

      Delete
    2. ඔවු මලියා අම්මා කෙනෙක් ලේසියෙන් දරුවක් මරන්නෑ....
      තැන්කු මලියා

      Delete
  2. කතාව දෙවතාවක් කියවලා බැලුවා..

    මට මතක් වුනේ ලමා සංවර්ධන ගැටලු යෞවනයට බලපාන විදිය ගැනයි මේ කතාවත් එක්ක.සාමාන්‍ය කතාවක් ලියන එක ලේසි උනත් මේ වගේ කතාවකට චරිත ගලපන එක කරන්න පුලුවන්කම තියෙන්නේ ඒ චරිත ගැන සියුම්ව හිතන කෙනෙකුටයි.සබරේ ඒ ගැලපීම චරිත මතුකිරීම සාර්ථකව කරලා.සාර්ථක කතාවක්.

    ජයෙන් ජය සබරේ

    ReplyDelete
  3. සංවේදී ලිවිල්ලක්.......... ගොඩක් දේවල් පොඩි කතාවකින්...........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔවු අ.ආ මට ගොඩාක් දේවල් න්ම කියන්න ඔිනි උනා

      Delete
  4. ලස්සන ලියවිල්ලක්, සංවේදී කතාවක්. බ්ලොග් එකේ සයිස් එක අඩු කරන්න. සයිඩ් එකේ රූපේ උඩින් අකුරු ගියාම කියවන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු බණ්ඩා
      අඩු පාඩු ටික වර්ණ හරි ගස්සසයි යාළුවේ

      Delete
  5. වචන ටික ගැට ගහගත්තාම මොනා හරි කියන්නම් මලේ........

    ReplyDelete
    Replies
    1. ආ.... කැමා අයියේ ඔහොම ලිස්සලා නම් යන්න දෙන්න බැ හොදේ...

      Delete
  6. ඒදා මරණ දඩුවම ගැන පාර්ලිමේන්තුවේ කතා කරපු වෙලාවේ මං අහගෙන ලස්සන කතාවක් කියනවා ජවිපෙ සහෝදරයෙක්... මරණ දිහා විතරක් බලලා දඩුවම් දෙන්න බැහැ... හරි හමං ගෙයක් හදාගන්න, ජනෙල් දා ගන්න හෝ අාරක්ෂිතව ඉන්න ජනතාවක් හදාගන්න බැරි රටත් මේකට වගකියන්න ඔ්නේ කියලා.... අැත්ත ඒකයි.... මේකට වගකියන්න ඔ්නේ තව පැති බොහොමයක් තියෙනවා.......

    ReplyDelete
    Replies
    1. ඔවු කුරුට්ටෝ.... මන් දන්නෑ මේ හෙැමෝම එල්ලුම් ගහම ගේන්න හදන්නේ ඇයි කියලා.... පෞද්ගලිකව මං ඒකට අකමැතියි කුරුට්ටෝ කාවවත් මරනවට මොනතරම් වරදි කාරයෙක් උනත්

      Delete
  7. මම කම්පා උනා අහිංසක කෙල්ලො දෙන්නාගේ ජීවිතවලට උන දේ ගැන. කථාව කියවලා ටිකක් වෙලා හිටියා ඒ කම්පනයට.තාත්තා කෙනෙක් ගෙන් කිසිම දුවෙකුට එහෙම වෙන්නෙපා කියලා මා ප්‍රාර්ථනා කළත් එය කාලීන වෙලා අවසන්.
    තව තව ලියන්න සුභ පැතුම්
    මම අඹයා

    ReplyDelete
    Replies
    1. තැන්කු අඹයෝ....
      තාත්තලා ගෙන් නම් ඔහොම ඕවා වෙන්නෑ අඹයෝ.... වැඩේ කියන්නේ මේ තාත්තලා නෙමෙයි යක්කු

      Delete